ආදරය

වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක්
ඔහුගේ පුතාගේ නිවසේ උද්යානයේ වූ බංකුවක් මත
වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන
ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත්
පසෙකින් වාඩි වී සිටියා. හදිසියේම පැමිනි කපුටෙකු
නිවසේ ජනේලයක් මත වැහුවා.
මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද"
කියලා... පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...
මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන්
ඇහුවා "ඒ මොකෙක්ද" කියලා... "ඇයි මේ"
පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ
ඉන්නේ කපුටෙක්" තව මිනිත්තු කීපයකින්
තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද"
කියලා තුන් වෙනි පාරටත්... මේ සැරේ පුතාට
තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ?
මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කපුටෙක්!
කපුටෙක්!!"
තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත්
පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා...
මේ පාර නම් පුතාට හොදටම
තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම
කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන
දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කපුටෙක්
බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්රශ්ණේ මගෙන්
දිගටම අහන්නේ" කියලා... ටික වෙලාවකින්
තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි
ගැහුන දිණ පොතක් ගෙනාවා...
දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට
දීලා හයියෙන් කියවන්න කිව්වා..
දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා.
"අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක
බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු
කපුටෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක
දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද
තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම
පාරම ඒ කපුටෙක් කියලා මගේ පුතාට මම
කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම
මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා"
ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව
ආදරෙන් බදා ගත්තා...
තාත්තලගේ ආදරය මේ වගේ...

මුද්ද

 


මුද්ද

කොන්ඩේ සුදු වෙච්ච නාකි පොරක් එක සිකුරාදා දවසක හවස හතහමාරට විතර ජුවලරි
ෂොප් එකකට ගොඩ වැදුනලු.මෑන්ස් ආවේ තනියෙම නෙවෙයි, තරුණ ලස්සන කෙල්ලෙකුත්
අතින් අල්ලන්. මිනිහට ඕනේ උනා මේ කෙල්ලට ලස්සන මුද්දක් අරන් දෙන්න.

“අරන් එන්න බලන්න ඔයාලා ළඟ තියෙන ස්පෙෂල් මුද්දක්. මට ගන්න ඕනේ එකක්!”
නාකි අංකල් සාප්පුවේ ලොක්කට කිව්වා. වචනේ ගැලවිච්ච ගමන්ම සාප්පුවේ මෑන්
ගිහින් උස්සන් ආවා එළට් මුද්දක්. ගාණ ගහලා තියෙනවා ලක්ෂ 10ක් කියලා. නාකි
මෑන්ස්ගේ මූණ අඳුරු උනා.

“මං හිතන්නේ ඔහේට තේරෙන්නේ නෑ ස්පෙෂල් කියන වචනේ තේරුම? මීට වඩා හොඳ
මුද්දක් නැද්ද? අංකල් සද්දේ දාලා ඇහුවා. ඒ පාර සාප්පුවේ මෑන් නැගිටලා
ගිහිල්ලා ගෙනාවා සුපිරි මුද්දක්,
“මෙන්න සර්, මේක නම් අති විශිෂ්ඨයි. මේකේ ගාණ ලක්ෂ 50ක්.”

මුද්දේ ලස්සනට වඩා ගාණ ගැන කෙල්ල ගොඩක් කැළඹුනා. කෙල්ලව වෙව්ලන්නත්
ගත්තා. නාකි මෑන්ස් නෙවෙයි සැලුනේ, “මම මේ මුද්ද ගන්නවා!” පොර ස්ථීරවම
කිව්වා.

“සර් කොහොමද පේමන්ට් එක කරන්නේ? කෑෂ්ද, ක්‍රෙඩිට් කාඩ් එකෙන්ද එහෙම
නැත්නම් චෙක් එකකින්ද?” සාප්පු කාරයා ඇහුවා.
“මං චෙක් එකකින් ගෙවන්නම්. ඒත් ඔහේට සැකයි වගේ නේද? කමක් නෑ. මං දැන්
චෙක් එක ඔහෙට දීලා යනවා. ඔහේ සඳුදා උදේට බෑන්ක් එකට කතාකරලා කන්ෆර්ම්
කරගෙන මට කෝල් එකක් දෙනවකෝ. එතකොට මං සඳුදා උදේට ඇවිත් මේ මුද්ද අරන්
යන්නම්.” එහෙම කියපු නාකි මෑන් කබායෙන් චෙක් පොත අරන් එවෙලෙම රුපියල්
ලක්ෂ පනහකට චෙක් එකක් ලියලා සාප්පුවේ ලොක්කට දුන්නා.ඊට පස්සේ කෙල්ලගේ
අතින් අල්ලන් බොහොම උජාරුවෙන් සාප්පුවෙන් පිටත් උනා. කෙල්ලත් ආවට වඩා
ආදරෙන් නාකි මෑන්ගේ අතේ එල්ලිලා ගියා.

සඳුදා උදේ ටිකක් අප්සෙට් මූඩ් එකෙන් ජුවලරි ෂොප් එකේ ලොක්කා නාකි මෑන්ස්ට
කෝල් එකක් ගත්තා, “සර්, හරි වැඩේනේ. බැංකුවෙන් ඇහුවම කියනවා සර්ගේ
එකවුන්ට් එකේ සල්ලි නෑ කියලා. දැන් මොකද කරන්නේ?”

“මම දන්නවා!” නාකි මෑන් අර නොසැලෙන ස්වරයෙන් කිව්වා,

” ඒ උනාට තමුසේ හිතලා බලනවකෝ ඒ චෙක් එක හින්දා මං සති අන්තේ කොයි තරම්
ආතල් එකක් ගන්න ඇතිද කියලා!”

පිළිසිඳගැනීම

පිළිසිඳගැනීම




යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය.

තම සිව් අවුරුදු ප්‍රේම සම්බන්ධතාවයෙන් පසු කසාදයකින් එක් වුනු ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය හැල හැප්පීමෙන් තොර වූ සාමකාමී එකක් බව ඈට මතකය. එක සමාන පවුල් පසුබිම් වලින් පැමිණි ඔවුන් තම වරිගයාගේ ආශිර්වාදය මැද දීග ගිය හැටි, ඔහු තම කෙසඟ සිරුර වටා නිළමේ ඇඳුමේ රෙදි යාර ගණනක් ඔතාගෙන අපහසු සිනාවෙන් සිටි හැටි, ඇය මාල තොගයක බර දරාගෙන ඔහු හා ලැජ්ජාවෙන් සිනා වූ හැටි ඈට මතකය.

වෙහෙසකර වූ මංගල රාත්‍රිය, පසුදින තම නව ස්වාමියා/ආදරවන්තයාගේ සියුම් ආඩම්බරයක් මුසුවූ ආදරබර බැල්ම ඇයට මතකය. එදින සිට කෙතරම් දේවල් වෙනස් වූවාද කියා ඈට සිතා ගන්නට වත් නොහැකිය. 

ආදරවන්තයන් වූ කාලයේ වල් පල් කියවමින් දැවටි දැවටී සිටි ඔවුන් දැන් එදිනෙදා වැඩ වලින් හෙම්බත් වී ගෙදර පැමිණෙනුයේ මොකක් හෝ යමක් කා බී නිදාගන්නටය. 

එදා සිටි ආදරවන්තයා ඔහු කෙරෙන් පලා ගොස් ය. දැන් ඇය හා යහන් ගතවනූයේ නටබුන් වූ ආදරවන්තයෙකි, ඔහුට වෙහෙසය, ඉක්මනින් කිපෙන සුළුය, සෑම සියළු දෙයකටම උදාසීනය.

 පව්! 

ඈට සිතේ. ඔහු වෙහෙසෙන්නේ ඔහු සඳහාම පමණක් නොව 'අප' ගොඩ නැඟීමටය.

නමුත් 'අප' යන එකකය හට බාහිර පෙළඹවීම් වල නිමක් නැත. නැන්දම්මාට දරුවෙක් ඕනෑකර තිබේ. ඇගේ එකම අරමුණ ඔහුගේ මුහුණුවර ඇති දරුවකු සුරතල් කරන්නට ය. දුවෙක් නන් වඩා හොඳයි ලු. ඒ ඔහුගේ පවුලේ කොල්ලන් වැඩි නිසාලු. 

ඉල්ලුමට දරුවෙකු සපයනවා තියා ඔයාගේ පුතාට ගෙදර වැඩක් කරන්නවත් වෙලාවක් නෑ කියන්න ඈ හට කියන්න සිතුනත් තම ස්වාමියාගේ 'කාඩ්' කුඩු කරන්නට ඇයට නොසිතෙන්නේ ඔහුගෙන් ඈ හට කිසිදු වරදක් මේ වන තෙක් සිදු නොවී ඇති හෙයිනි.

ඔහු තාමත් නින්දේ ය...

ඔහුගේ අතරින් පතර මතුවී ඇති සුදු කෙස් එක දෙක, ඔවුන් තව දුරටත් විසි ගණන් වල පසුවන ජෝඩුවක් බව ඈට මතක් කර දෙන්නේ එක්තරා සුළු තිගැස්මක්ද සමඟිනි.

 නමුත් ඔවුන් මේ වනතුරු දින ගණන් කොට, වෙලාව බල, සියළු වෙද උපදෙස් අනුගමනය කර දරුවෙකු කුසට වඩම්මවා ගන්නට තැත් කරත්, ඒ සියල්ල ගඟට කැපූ ඉනිමේන් වූයේ ඇයි දැයි ඈ නොයෙක් වර පසු තැවුනාය.


ඒක ඕනෑ වෙලාවට වෙයි, ඔයා නිකන් කලබල වෙලා... හිතන්න එපා ඒ ගැන ඔහු මට පවසන්නේ මා සනසන අටියෙන්ද නැතහොත් තමාවම සනසා ගන්න අටියෙන් ද කියා ඈට සැකය. 

කාමරයේ එල්ලා ඇති දින කැපූ කැලැන්ඩරයේ රතු රවුමක් ඇඳපු දිනයට තව දවස් කිහිපයක් ඉතිරිව ඇති සෙයකි.

මේ.... පොඩ්ඩක් නැඟිටින්නකෝ... 

අද සෙනසුරාදා නේ... ඇයි මාව කලින් නැඟිට්ටවන්නේ? මහන්සියි අනේ පොඩ්ඩක් නිදා ගන්න දෙනවකෝ... ඔහු අඳෝනා නඟයි.

ඔහොම ගියොත් ළමයි හදයි! මේ අර දවසට තව දවස් ටිකක් තියෙනවා, ට්‍රයි කරමුද? 

හ්ම්... ඔහු තාම අඩ නින්දේය. 

"මෙහෙම ගියොත් අපිට අම්මාගෙන් කනක් ඇහෙන්න නැතිවෙනවා... මට ඔෆිස් එකේ යාළුවෙක් කිව්වා ළමයි හම්බ වෙනනැති අයට හොඳ දේවාලයක් තියෙනවාලු. එකේ බාරයක් වුනාම හරි ලු."

"මොන දේවාලද අනේ මේ උදේ පාන්දර? ඊයේ හවස් වෙනකන් මීටින් තියල ලොක්කෝ මගෙ ඔළුව කන්වා, උදේට ඔයා මගේ ඔළුව කනවා... පොඩ්ඩක් එන්න අපි ටිකක් නිදා ගමුකෝ..."

ඈට ඔහුගේ උදාසීනත්වය ගැන සියුම් තරහාවක් ඇතිවනූයේ, කරදරය ඇත්තේ ඔහුගේ ම මවගෙන් නිසා ය. 

"ඔයා නන් මාර මිනිහෙක්... ඔයා ට බැරි නන් කියන්න මම ගිහින් අර දේවාලේ පූසාරිට කියලාවත් ළමයෙක් හදාගෙන ඔයාගේ අම්මාගේ ඔඩොක්කුවට ගෙනත් දාන්නන්. ඔයා ඔහොම ම නිදා ගෙන ඉන්න."

ඈ ඇඳෙන් නැඟිට ඉවත්ව ගියා ය.

රාත්‍රී ආහාරය....

රාත්‍රී ආහාරය....



"ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."

හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි.

" ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙලේම ඔෆිස් ප්‍රශ්න, ටෙලිෆෝන් කෝල්ස් ඉවරයක් නෑ, ඔය ඔෆිෆ් එකේ ඔයා විතර ද හැබෑ ට වැඩ කරන්නේ? "

ඇගේ චෝදනා වල නිමක් නැත. ඔෆිස් එකේ තිබ්බ මීටින් එකේ දී කන පිරෙන්න අහගෙන ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියල හිත හිත හිටිය මට ඈ ගේන්න කියපු දේවල් මතක නැතිවීම ඒ හැටි කලබගෑනියක් ඇති කරන්න තරම් හේතුවක් නෙමෙයි නේ??

ඔහුට සිතේ.

ඔයාගෙ ඔෆිස් එකේ වගේ නෙවේ අපේ එක. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න...  ඔහු ආයාචනා කරයි.

"ඔව් ඔයා තමා ලෝකෙ ලොකුම රස්සාව කරන්නේ අපි කරන රස්සාවල් වැඩකට නැති ඒවානේ? ඇය ඔහුගේ ඇඟට කඩා පනි. "

"ඕනේ මඟුලක්, මට මහන්සි! මට රෑ කෑම එපා... ඔහු දිනුම රැගෙන සිරුර මෙන්ම සිතද සැහැල්ලු කර ගැන්මට නාන කාමරය වෙත පිය නඟයි."

ඇයගේ සැර ටිකක් බාල වූ සැටියකි. තමා ඔහු හා වාද වූයේ තමාගේ සිතේ ඇති වෙහෙස හා තරහාවන් පිටකිරීම ට බව ඇය හොඳාකාරව ම දන්නීය.

උදේ සිට කමකට නැති කළමණාකරුවෙකු හා වැඩක් කරගැනීමට නොදත් සුළු සේවකයන් සමඟ හෙට්ටු වී ගෙදර පැමිණෙන ඇයට තම සැමියා ගේ නොසැලකිල්ල රතු කට්ට පැනීමට හේතුවක් විය.

ඔහු ගැන ඇය හොඳාකාරව ම දන්නීය. තමා ගේ ආත්ම ගෞරවයය රැක ගැනීමට ඔහු කුසගින්නේ හෝ නින්දට යන්නෙකි. නමුත් ඈ හට එය වනු දැරිය නොහැක්කකි. කෙසේ හෝ ඔහු ඇය ගැන සොයා බලන බව ඈ දන්නීය.

මම කෑ ගහපු එක හරි නෑ, පව්! එයත් මහන්සි වෙලා නෙ එන්නේ... ඔහු ජල කරාමය වසන ගමන් කල්පනා කලේය. බඩු ගේන්න අමතක වෙච්ච එක මගේ වැරැද්ද.. ඒ වුනත් ඕක මහ ලොකු දෙයක් කරගෙන කෑ ගහන්න ඕනේ නෑ නෙ.

කවදාවත් මම දෙයක් කියන කන් ඉන්නෙ නෑ, ඔක්කොම තනියම හිතාගෙන මහා කලබලයක් කරනවා... කොච්චර කිව්වත් ඒක නවත්වන්නේ නෑ...

ඔහු සරමක් දවටා ගෙන යලි කෑම කාමරය වෙත පිවිසුනේ ය.

"සොරි.. මම ටිකක් ඉක්මන් උනා.. "ඔහු පවසයි.

"අද හවස මීටින් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බා... මට ඒකෙන් ඔක්කොම දේවල් අමතක උනා... ඊළඟ දවසේ රිමයින්ඩර් එකක් වත් දා ගෙන ඉන්න ඕනේ...."

"නෑ කමක් නෑ... මගෙත් වැරැද්ද මම කෝල් කරලා මතක් කරේ නෑ....  මම දන්නවා ඔයාට ගොඩක් වැඩ මේ දවස් වල... ඊළඟ පාර මම කෝල් කරලා බලන්නන්... සොරි..."

"ඉන්න, මම කෑම බෙදලා දෙන්නන්....ඔයා කෑම කනවා නේද??"

" හ්ම්.... "

වෙඩින් Talk...

වෙඩින් Talk...
ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..

කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? අහ්! රමණි ද? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි... 

සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...

සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ? 

මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි...

හ්ම්... මනමාලිගේ අම්මා බලන්නකෝ, මේකප් වැඩී නේද?

දන්නේ නැති කෙනෙක් නේ ෆොටෝස් ගන්නේ! ෆොටෝස් ටික හරි නැති වෙයි...

අයියෝ! බෑන්ඩ් එක හරි සද්දයි! මේරියන්ස්ලා ව ගෙන්න තිබ්බේ..

වෙඩින් කේක් එක හරි පොඩි නේ... කෑමත් පරක්කුයි...

කෑම හරි නෑ නේ. මම නන් පොඩ්ඩයි කෑවේ. 

සවුත්තු අයිටම්ස් වගයක් නේ තිබ්බේ, අපි ගිය වෙන වෙඩින් එකක ලස්සන නැටුම් වගයක් තිබ්බා

කපල් ඩාන්ස් එක බලන්නකෝ දෙන්නට හරියට නටන්නත් බෑ...

දෙන්නාට යන්න තියෙන වාහනේ බලන්නකො...

සවුත්තු වෙඩින් එකක්...